April 28, 2024

සාහිත්‍ය මාසයේ මගේ මතක..

මහගෙදර ඒ දවස්වල අප්පච්චි ඉඩ තියෙන වෙලාවට ගත කරන්නෙ අපි එක්ක. එයා දන්න හුඟක් දේ වගේම අපිට පොතපත ළං කරන්න හුඟක් උත්සහ කළා. අපි ඉස්කෝලෙ යනකොට කොල්ලො රෑනෙ එකතු වෙලා දඟකාරකම් කළා වගේම ගමේ තිබුණ සාහිත්‍ය, කලාව එක්ක ඉන්න පුළුවන් වුණා.

පාසල් විෂය මාලාව ඇතුළේ මුලින්ම හමු වුණ චරිත සමඟ වරින්වර වෙනස් වෙන සාහිත්‍යයක් අපි පාසල් ආධ්‍යාපනයෙන් ලබා ගත්තා. කුඩා කාලයේ පුස්තකාලයට එතරම් ඇල්මක් නොතිබුණත් ලොකු මහත් වෙනකොට ජීවිතේ වෙනස්කම් එක්ක පොතපත කෙරේ නැඹුරු වෙන්න වුණා. මට මතකයි මෑතක සිලබස් එක වෙනස් වෙනකොට හරි ජනප්‍රිය කවි පංතියක් සාමාන්‍ය පෙළ දරුවො අතර තිබුණා. ඒ තමයි කුඩලිගම මහත්තයගෙ වැස්ස පද්‍ය පංතිය.

“පදමට වෙරළු මිණි කැට සුණු විසුළ හැඩ
ජෝතිය ලැගුම්ගත් ලා තණ පිටිය උඩ”
කුඩලිගමගෙ කවි, මහගම සේකරගෙ කවි වගේම ලියගේ අමරකීර්ති, මාර්ටින් වික්‍රමසිංහ, ජේ.බී දිසානායක, සුනේත්‍රා රාජකරුණානායක වගේ දැවැන්තව සාහිත්‍ය රසය වෙනස් අන්දමින් ගෙන ආ කර්තෘවරුගේ නිර්මාණයන් ජීවිතාවබෝධය ගෙන දුන්නා.

කෙනෙක්ට හිතෙන්න පුළුවන් දේශපාලනේ එක්ක ඉන්න අපි වගේ අයට මොන සාහිත්‍යයක්ද කියලා. නමුත් ස්වභාවධර්මය එක්ක ගැටෙන හැම මොහොතකම හිත නිවාගන්න වගේම යමක් තේරුම් ගන්න මග පෑදුවෙ සාහිත්‍යය විතරයි.

වර්තමානයේ අපිට අලුත් වුණ සාහිත්‍යයක් තියෙනවා. ඒ තමයි ඩිජිටල් තාක්ෂණය ප්‍රමුඛ කරගත් සාහිත්‍ය. ක්‍රි.ව 5 දී සීගිරි කුරුටු ගී ලියන්න සීගිරි බලන්න එන සාමාන්‍ය ජනතාවට පුළුවන් වුණා. දැන් අපිට තාක්ෂණය එක්ක ෆේස්බුක් පිටුවක, තමන්ගෙම බ්ලොග් එකක සාහිත්‍ය ගොනගනන්න පුළුවන්. E book ක්‍රමවේදය දැන් බොහෝ දියුණු තත්වයක පවතිනවා. ඒ වගේම සාහිත්‍ය නවීකරණය වෙලා තරුණ තරුණියන් ලිවීමට හුරු වෙලා.

දේශපාලනය විවේචනයේදී පවා, ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව අපූරු අදහස් පවා, වෙනත් ජීවිතයේ අත්දැකීමක් පවා අලුත් සාහිත්‍යයේ ඉදිරිපත් කිරීම වෙනස්. බොහෝ ෆේස්බුක් ලියන්නෝ සහ කවියෝ කිවිඳියෝ තම තමන්ගේ පොත් එළිදැක්වීම සිදු කරනවා. සාහිත්‍ය කියන්නෙ පොත පත පමණක් නෙවෙයි. එදා වේදිකා නාට්‍ය අද ඩිජිටල් වෙලා. අපේ අලුත් පරම්පරාව සාහිත්‍ය ඉදිරියට ගෙනියනවා. හැම පොත් එළිදැක්වීමකම අලුත් මූණු දකිනවා. ඉලක්ෂ ජයවර්ධන, වර්ණ රසිකා, රුවන් බන්දුජීව, ලක්ෂාන්ත අතුකෝරළ වගේ තරුණ කවියෝ බිහිවෙලා. බේබදු කුමාර,අංගම්පොඩි වගේ අනුවර්ත නාමවලින් කවියො බිහි වෙලා. අදටත් ඔබත් මමත් රස විඳින සාහිත්‍ය අලුත් වෙලා. ඒ අතර සෑම වසරකම පාහේ දිගහැරෙන ස්වර්ණ පුස්තක, ගොඩගේ අත්පිටපත්, රාජ්‍ය සාහිත්‍ය උළෙල වැනි අවස්ථා හරහා අලුත් පරම්පරාව ඉදිරියෙන් සිටිනවා.

තවත් ඉදිරියට සාහිත්‍ය රැගෙන යාමේ බලාපොරොත්තුවේ දෑස් දල්වාගත් සමාජයක් අපට අවශ්‍යයි. මුද්‍රණ කර්මාන්තයේ මිල ගණන් සුළුපටු නොවීමත් ප්‍රකාශකයන්ට එක්තරා මට්ටමකට ඇති ගැටලුවක්. අපි උත්සහ කරමු. අපේ යහපත් සමාජයේ රසය ගොඩගන්න මෙන්ම තවත් අපේ තරුණ ප්‍රජාව සාහිත්‍යය වෙනුවෙන් කරන අලුත් නිර්මාණ ඇගයීමට දිරි දෙමු.

-නාමල් රාජපක්ෂ –