April 22, 2024

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්‍රමය වසර ගණනාවක් තිස්සේ ඉතා සෙමින් වර්ධනය වෙමින් පවතින්නකි. විෂය නිර්දේශයක් පවා වෙනස් වීමට හෝ යාවත්කාලීන වීමට කිසියම් කාලයක් ගතවෙයි. වසර 13ක පාසල් කාලයෙන් පසු උසස් පෙළ නිමා කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතැනින්  එහා රැකියා වෙළෙඳපොළක් පිළිබඳව ඇතැම් විට ඇත්තේ අල්ප දැනුමකි. මුදල් මත පදනම් වූ පෞද්ගලික අධ්‍යාපන ක්‍රමය පිළිබඳව සමාජය තුළ මතභේදාත්මක කරුණු ඇතිවන්නේද නිශ්චිත පදනමක් නොමැති පසුබිමක් තුළය.

ලක්ෂ හතරකට ආසන්න සංඛ්‍යාවක් සිසුන් වසරකට උසස් පෙළ විභාගයට මුහුණ දෙද්දී, තිස් දහසක් හෝ හතළිස් දහසක් රජයේ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන්නේ කඩයිම් ලකුණු මූලික කරගනිමිනි. නමුත් ප්‍රායෝගික තලය තුළ දරුවන්ගේ දක්ෂතා සහ හැකියාව පිළිබඳව පිරික්සා බැලීමේදී බොහෝවිට අපට හමුවන්නේ විභාග පත්‍රිකාවට එහා දැනුමෙන් සහ කුසලතාවයෙන් පරිපූර්ණ වූ තරුණ පිරිසකි.

10% ප්‍රතිශතයක් රජයේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරා රැකියාවලට පිවිසෙද්දී ඇතැම් විට නිශ්චිත වෘත්තීමය සුදුසුකම් තමා විසින් හදාරන ලද උපාධි ක්ෂේත්‍රය තුළ අත්පත් කර ගැනීමේ දී පවා තාරුණ්‍ය ගැටළු වලට මුහුණ දෙයි. රාජ්‍ය විශ්ව විද්‍යාල ප්‍රවේශය ලැබීමට නොහැකි වන බහුතරයක් තරුණයන් ආර්ථික අපහසුතා හමුවේ ද පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ නිදහස් අධ්‍යාපනය සේම අධ්‍යාපනයේ නිදහසද මේ මහ පොළොවේ දරුවන් ලෙස ඔවුන්ට හිමි වන නිසාය.

පසුගිය කාලයේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් ගෙන ආ ප්‍රධාන තර්කයක් වන්නේ පෞද්ගලික විශ්වවිද්‍යාල සඳහා අවස්ථාවන් පුළුල් කිරීම සහ මුදල් ගෙවා උපාධියක් ලබා ගැනීමේ ක්‍රියාවලියට විසඳුම් ලබා දෙන ගෙන එන  ලද සටන් පාඨයයි.

විශ්වවිද්‍යාල යන ආයතන ඒකක ස්වාධීන ආයතන විය යුතු අතර ඒවායේ පවතින විෂය පථයන් ද කලින් කල යාවත්කාලීන වන ලෝකයේ මේ වන විට පවතින දියුණු රැකියා ශාස්ත්‍රවල අවස්ථාවන් තරුණයන්ට හිමිවිය යුතු අන්දමේ විෂයපථයන් ලෙස නවීකරණය විය යුතු බව මාගේ තර්කයයි.

තවමත් අපේ සමාජයේ රජයේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත් තරුණයකුට හෝ තරුණියකට රජයේ රැකියාවක නියැලීමේ ආශාව දැඩිව පවතින නමුත් සිදුවිය යුත්තේ විශ්වවිද්‍යාල අතර අධ්‍යාපනිකව ඇතිවන තරගකාරීත්වය හමුවේ රැකියා වෙළඳපොල තුළ ලෝකයේ පවතින අවස්ථාවන් වලට ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් තරුණියන් අත්පොත් තැබීම නොවේද?

විශ්වවිද්‍යාල ප්‍රවේශයන් වැඩිදියුණු කිරීමේදී එය වෙනස් විය යුත්තේ විශ්වවිද්‍යාල කඩඉම් ලකුණු සීමාවේ සිට පසුපසට පාසල් අධ්‍යාපන ක්‍රමය දක්වාය. අවම වශයෙන් නවය ශ්‍රේණියේ දී හෝ තමා හැකියාවක් දක්වන ක්ෂේත්‍රයක් තෝරා ගැනීමට දරුවාට අවස්ථාවක් ලබා දීම සිදු කළ යුතුය.

තවද, විශ්වවිශ්‍යාල ස්වාධීන ඒකක කළ පසුව විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා වැඩි පිරිසකට අවස්ථාව ලබාදීමට ඉගෙනුමෙන් චක්‍රීය අරමුදලක ක්‍රියාකාරීත්වය මෙහිදී අත්‍යවශ්‍ය වේ. Revolving Fund හෙවත් උසස් අධ්‍යාපනය සඳහා තරුණ තරුණියන් වෙනුවෙන් වෙන්වූ චක්‍රීය අරමුදල හරහා වැඩි විශ්වවිද්‍යාල ප්‍රවේශ අවස්ථාවන් මෙරට තරුණ ප්‍රජාවට අත්පත් කර දීමට අපට හැකියාව ලැබේ. මෙමඟින් වැඩි පහසුකම් ලබාදීමටත්, නිපුණතා වර්ධනය කිරීමට සහ රැකියා වෙළදපොලට අවශ්‍ය උපාධිධාරීන් බිහි කිරීමටත් හැකියාව ලැබෙනු ඇත.

“එකම පන්තියේ සිට බත් පත බෙදාගෙන කෑ තමාගේ මිතුරාත්, බෙදා වෙන් කිරීමකින් තොරව අධ්‍යාපනයේ හිනිපෙත්තට රැගෙන යාමට මෙන්ම සමාජයේ වැඩදායි පුරවැසියෙකු ලෙස සාර්ථක ජීවිතයක් ගත කිරීම සඳහා අවස්ථා උදාකර දීමට චක්‍රීය අරමුදලක දායකත්වය උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ වඩාත් හොඳ ප්‍රගමනයක් කරා ඉවහල් වනු ඇත.”

මෙම ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීමට නම්, අප පවතින ක්‍රමනාමයේ වෙනසක් දැකිය යුතු බව හදවතින්ම ඇසිය යුතු නොවේද?

– නාමල් රාජපක්ෂ –