April 28, 2024

අටමස්ථානාධිපති නුවර කලාවියේ ප්‍රධාන සංඝනායක පල්ලේගම හේමරතන නාහිමියන්ගෙන් ආශිර්වාද ලබා ගැනීමේ අවස්තාව

පෙරදිග ඉතිහාසය පුරාවට බෞද්ධ සංස්කෘතික සාරයෙන් සුපෝෂිත වූ ශ්‍රී ලංකාව පරිපූර්ණ වූයේ උතුම් වූ බුද්ධ ධර්මය සහ ඒ ආශ්‍රිතව ගොඩනැගුණු හින්දු සංස්කෘතික වටිනාකම් මෙන්ම බ්‍රාහ්මීය අක්ෂර මාලාව මගින් වැඩිදියුණු වූ සාහිත්‍යයක්ද සහිතවය. සිය ජීවිතයට බද්ධ වූ ආගමික වත්පිළිවෙත් සහ රාජ්‍ය නායකත්වය අතර අනෝන්‍ය සබඳතාවක් ගොඩනැගීමට උත්සාහ කළ නායකයන් අල්පය. තම ජීවිතයේ සියලුම සුවිශේෂී සන්ධිස්ථාන සහ තීරණාත්මක අවස්ථාවන්හිදී අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගැනීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතයේ අංගයක් විය. තම පියා විසින් ගොඩනගන ලද ආගමික ලැදියාව හුරු පුරුදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද දින අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නා ලදී.

ශ්‍රී ලංකාව පුරා විහිදී විසුරුණු බෞද්ධ සිද්ධස්ථාන සහ ඒ ආශ්‍රිතව ගොඩනැගුණු සංස්කෘතික වටිනාකම් එකිනෙකට බද්ධව ශ්‍රී ලාංකීය ජන විඥානය නිර්මාණය වී තිබේ. අනුරාධපුර අටමස්ථාන ඒ අතර සුවිශේෂී තැන් ගනී. ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා සෑය, ථූපාරාමය, ලෝවාමහාපාය, මිරිසවැටිය, අභයගිරිය, ජේතවනාරාමය, ලංකාරාමය ආදී වූ අටමස්ථාන ලාංකීය මෙන්ම ලොව පුරා බෞද්ධයන්ගේ නොමද ගෞරවයට සහ වන්දනාවට පාත්‍ර වේ.

ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙන අතර ආමිස පූජාවද වත්මන් බෞද්ධ ජනතාව අතර කාලයක සිට පැවත එන චාරිත්‍රානුකූල ක්‍රමවේද රැසකින් විචිත්‍රවත් වී තිබේ. මෙවැනි පසුබිමක් තුළ තරුණ නායකත්වය පෙරදැරි කර ගනිමින් සාමාජයීය යහපැවැත්ම උදෙසා තම අනාගත දැක්ම නිර්මාණය කරගත් ගරු නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අනුරාධපුර නගරයේ අටමස්ථාන ආශ්‍රිත සංචාරයකදී අනුරාධපුරයේ වටිනාකම පිළිබඳව මෙසේ අවධාරණය කර සිටියා:

“අපි දන්නවා, අපේ රටේ බහුතරයක් ජනතාව තම ජීවන රටාව සකසාගෙන තිබෙන්නේ තමන්ගේ ආගමික පරිසරයත් එක්ක. අපි ශ්‍රී ලාංකිකයන් විදිහට හෝ මනුස්ස වර්ගයා විදිහට හෝ එක වතාවක් හෝ අනුරාධපුර අටමස්ථාන සහ මහනුවර ශ්‍රී දළදා වහන්සේ වන්දනා කර තිබීමම අපේ ජීවිතවලට විශාල ආශිර්වාදයක් කියා මා විශ්වාස කරනවා. එය ථෙරවාදී හෝ මහායාන හෝ වෙනත් ඕනෑම නිකායක බෞද්ධයෙක්ට ඉතාම වටිනවා. ශ්‍රී ලංකාවේත්, ඉන්දියාවේත්, තවත් ලොව පුරා ජීවත් වන හින්දු භක්තිකයන් අද වනවිට රාමායන පුරාවෘත්තය ආශ්‍රිත ස්ථාන දැකබලා ගැනීමට ලංකාවට පැමිණෙනවා. බුදුරජාණන් වහන්සේ එදා බුද්ධත්වය ලබන මොහොතේ සෙවන දුන් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් වන අනුරාධපුර ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙන ආවේ පැරණි ඉන්දියාවෙන්. ඒ නිසා ඔවුන්ගේ සංචාරය අතරතුර ශ්‍රී මහා බෝධිය දැකබලා ගැනීමටත් ඒ බොහෝ දෙනා පැමිණෙනවා. අපි ඔවුන්ට ආරාධනා කරනවා අනුරාධපුර අටමස්ථාන සියල්ල වැඳ පුදා ගන්න පැමිණෙන්නටය කියා.”

ඡායාරූපය – නාමල් රාජපක්ෂ මහතා ඓතිහාසික අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස ආශිර්වාද ලබා ගන්නා අවස්ථාව

එසේම අනුරාධපුර අටමස්ථාන ආශ්‍රිතව ජාත්‍යන්තර ධර්ම මධ්‍යස්ථානයක් වර්ධනය කිරීම උදෙසා දිගුකාලීන වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීමට සැලසුම් කරන නාමල් රාජපක්ෂ මහතා ඒ හරහා නව ආගමික පුනර්ජීවයක් ඇති කිරීමට හැකි වනු ඇතැයි විශ්වාස කරනවා. එසේම ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේත් සමස්ත ජනතාවගේත් සහාය ඇතිව නිවැරදි ආගමික වටපිටාවක් සහිත සමාජයක් නිර්මාණය කිරීම ගරු නාමල් රාජපක්ෂ මැතිතුමාගේ අරමුණ වී තිබෙනවා.